Skip to main content

මොනවද මේ සතර ඉර්ධිපාද..?



   ඉර්ධිපාද කියලා කියන්නේ බොහෝ දෙනෙක් කථා නොකරන මාතෘකාවක්. බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වූ මෙම සතර ඉර්ධිපාද ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම දේශනා එකතුව හඳුන්වන්නේ ‘ඉර්ධිපාද සංයුත්තය’ නමින්. එහි ඇතුළත් දේශනා සරලව උපුටා දක්වමින් සතර ඉර්ධිපාද ගැන ඔබට පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයට මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

   එහෙනම් අපි ඉර්ධි කියන්නේ මොනවාද කියලා පළමුවෙන් ම තේරුම් ගනිමු. ඉර්ධි යනු; එක් කෙනෙක්ව සිට බොහෝ අය ලෙස පෙනී සිටීම, බොහෝ දෙනෙකු ලෙස පෙනී සිට නැවත එක් අයෙකු ලෙස පෙනී සිටීම, කිසිවෙකුට නොපෙනෙන ලෙස සිටීම, බිත්ති – ප්‍රාකාර – පර්වත හරහා කිසි බාධාවකින් තොරව විනිවිද ගමන් කිරීම, ජලයෙහි මෙන් පොළොවෙහි කිමිදීම සහ උඩට මතුවීම, කුරුල්ලෙකු අහසෙහි ගමන් කරන්නාක් සේ පළඟක් බැඳගෙන අහසෙහි ගමන් කිරීම, මහත් ඉර්ධි ඇති, මහත් ආනුභාව ඇති හිරු සඳු අතින් ස්පර්ශ කිරීම, බඹලොව සීමාකොට තමන්ගේ කයින් වසඟයෙහි පැවැත්වීම යන මේවා යි.

   මෙම ඉර්ධීන් ලැබීම පිණිස පවතින යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඉර්ධිපාද කියන්නේ එයට යි. එබඳු ඉර්ධිපාද සතරක් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් එම ඉර්ධිපාද සතර ගැන දේශනා කරන ලද්දේ මේ ආකාරයට යි.

   "චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා. කතමේ චත්තාරෝ. ඉධ භික්ඛවේ භික්ඛු ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරියසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්තසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මහණෙනි, මේ ඉර්ධිපාද සතරක් තිබෙනවා. ඒ සතර මොනවාද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව බලවත් ඡන්දය (කැමැත්ත) තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා. බලවත් වීරිය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා. බලවත්ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා.

ඉමේසං ඛෝ භික්ඛවේ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති වුච්චතීති. මහණෙනි, මේ සතරක් වූ ඉර්ධිපාදයන් දියුණු කරගත් නිසයි බහුලව ප්‍රගුණ කරගත් නිසයි තථාගතයන් වහන්සේට ‘අරහං, සම්මා සම්බුද්ධ කියලා කියන්නේ”

ඉහතින් දක්වා තිබෙන පාළි පාඨයේ ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගත යනුවෙන් විශේෂ වචන දෙකක් ඔබට දකින්න ලැබෙන්න ඇති. මේ වචන දෙකේ අර්ථය මොකක්ද? ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරයට යි.

   “ඡන්දං චේ භික්ඛවේ භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්සේකග්ගතං. අයං වුච්චති ඡන්දසමාධි. අයං වුච්චති ඡන්දසමාධි. මහණෙනි, භික්ෂුවක් ඡන්දය (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් කැමැත්ත) උපදවාගෙන කටයුතු කිරීම නිසා සමාධියක් ඇතිකර ගන්නවා. සිතෙහි එකඟ බවක් ඇතිකර ගන්නවා. ඡන්ද සමාධිය කියන්නේ එයටයි. සෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය… උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය… අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය… උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිසත්, උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්, නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත්, උපන් කුසල් දහම් වැඩි දියුණු කරගෙන පරිපූර්ණ කරගැනීම පිණිසත් කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩිකර ගන්නවා. ප්‍රධන් වීරියට අයත් සංස්කාර කියන්නේ මේවාටයි. ඉති අයඤ්ච ඡන්දෝ අයඤ්ච ඡන්දසමාධි ඉමේ ච පධාන සංඛාරා. අයං වුච්චති භික්ඛවේ ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතෝ ඉද්ධිපාදෝ. මෙසේ ඡන්දයත් ඡන්ද සමාධියත් ප්‍රධන් වීරියට අයත් සංස්කාරයත් ඇද්ද, ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගත ඉර්ධිපාදය කියන්නේ මෙයටයි.”

   වීරිය (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් වීරිය), චිත්ත (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් අධිෂ්ඨානය), වීමංසා (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් නුවණින් විමසීම) යන අනෙක් ඉර්ධිපාද තුන ගැනත් ඉහත පෙන්වා දුන් පරිදි තේරුම් ගන්න.

   අති දුර්ලභ වූ සම්මා සම්බුදු සසුනක පමණක් අසන්ට ලැබෙන මෙම සතර ඉර්ධිපාද ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප තුළ පැහැදිලි නිරවුල් තේරුම් ගැනීමක් හා අවබෝධයක් තිබිය යුතුයි. සසර කතරින් එතෙර වීමට උපකාරී වන මෙම සතර ඉර්ධිපාද දියුණු කරගත්තොත්, බහුලව ප්‍රගුණ කළොත් දුකට අයත් දේ ගැන අවබෝධයෙන් යුතු කළකිරීමක් ඇතිවෙනවා. නො ඇල්මක් ඇතිවෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. කෙලෙස් සංසිඳිලා යනවා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙනවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. යම් කෙනෙක් මේ සතර ඉර්ධිපාද වරදවා ගත්තොත් ඔහුට මැනවින් දුක් ක්ෂය වී යන ආර්ය මාර්ගය වැරදී යනවා.

   අතීතයේ යම්කිසි කෙනෙක් කලින් කියපු ආකාරයේ ඉර්ධීන් උපදවා ගත්තා නම්, එම ඉර්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගත්තා නම් ඒ මේ සතර ඉර්ධිපාදයන් වැඩීම තුළින් ම යි. අනාගතයේ යම්කිසි කෙනෙක් ඉර්ධීන් උපදවා ගන්නවා නම්, එම ඉර්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගන්නවා නම්, ඒ මේ සතර ඉර්ධිපාදයන් වැඩීම තුළින් ම යි. වර්තමානයේ යම්කිසි කෙනෙක් ඉර්ධීන් උපදවා ගනියි නම්, එම ඉර්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගනියි නම් ඒත් මේ සතර ඉර්ධිපාදයන් වැඩීම තුළින් ම යි.

   අපගේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර චාපාල චෛත්‍යස්ථානයේදී ආනන්දයන් වහන්සේ අමතා වදාළ මේ කාරණය ඔබට මතක ඇති.

   “ආනන්දය, යමෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, හොඳින් පිහිටුවා ගන්නා ලද සතර ඉර්ධිපාදයන් තිබෙනවා නම්, ඔහු කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙන් සිටිය හැකියි. ආනන්දය, තථාගතයන් වහන්සේ තුළත් දියුණු කරල ලද, බහුල කරන ලද, හොඳින් පිහිටුවා ගන්නා ලද සතර ඉර්ධිපාදයන් තිබෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේටත් කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් සිටිය හැකියි.”

   භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගොරෝසු නිමිති පහළ කළත් ආනන්දයන් වහන්සේගේ සිත මාරයා විසින් වසාගෙන සිටි නිසා ආයුෂ් කල්පයක් වැඩ සිටින ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්නට උන්වහන්සේට නොහැකි වුනා.

   බුදු සසුනක හැර වෙනත් ආගමක කතා නොකරන මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත්, බහුලව ප්‍රගුණ කරගත් අතීතයෙහි වැඩසිටි භික්ෂූන් වහන්සේලා ඉර්ධිවිධ ඤාණය (නොයෙක් ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව), දිබ්බ සෝත ඤාණය (දිව්‍ය – මානුෂීය, දුර – ළඟ තිබෙන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකියාව), පරචිත්ත විජානන ඤාණය (අන් අයගේ සිතෙහි ස්වභාවය දැන ගැනීමේ හැකියාව), පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර විසූ ජීවිත දැකීමේ හැකියාව) චුතූපපාත ඤාණය (සත්වයන් කර්මානුරූපව චුතවෙන – උපදින ආකාරය දැකීමේ හැකියාව), ආසවක්ඛය ඤාණය (සියලු ආශ්‍රවයන් ක්ෂය කළ බව දන්නා නුවණ) යන ෂඞ් අභිඥාවන් ලබා ගත්තා.

   ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන භික්ෂුව තුළ මේ සතර ඉර්ධිපාදයන් ද වැඩි දියුණු වී යනවා. ඡන්ද, විරිය, චිත්ත, වීමංසා යන මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරන කෙනා, බහුල වශයෙන් ප්‍රගුණ කරන කෙනා මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හෝ අනාගාමී වීම යන මේ ප්‍රතිඵල දෙකෙන් එකක් කැමති විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

   දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ ලෝකයේ ඉර්ධිමතුන් අතර අග්‍ර වන්නේ අපගේ බුදුරජාණන් වහන්සේයි. භාග්‍යවතුන් වහන්සේ ඒ සා මහා ඉර්ධිමත් වූයේ, මහානුභාව සම්පන්න වූයේ මේ සතර ඉර්ධිපාදයන් සම්පූර්ණ කිරීම තුළින් ම යි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේලාත් මෙම සතර ඉර්ධිපාද වඩා ඉර්ධිබල ලබා ගත්තා. ඒ සියලු ඉර්ධිබල ලාභී භික්ෂූන් අතර එක භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් අග තනතුරු ලබාගත්තා. ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ යි.

   සක් දෙවිඳුන්ගේ “වෛජයන්ත ප්‍රාසාදය” ගැන ඔබ අහල ඇති. ඒ ප්‍රසාදය තට්ටු සීයක් උසයි. එක තට්ටුවක කූටාගාර ශාලා හත්සීය ගානෙ තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම කූටාගාර ශාලා හැත්තෑදාහයි. ඒ එක් එක් කූටාගාර ශාලාවක දිව්‍ය අප්සරාවෝ හත්දෙනා ගානේ ඉන්නවා. එක් එක් දිව්‍ය අප්සරාවට උපස්ථානය පිණිස දිව්‍ය සේවිකාවෝ හත්දෙනා ගානේ ඉන්නවා. ඒ කියන්නේ දිව්‍ය අප්සරාවෝ හාර ලක්ෂ අනූ දාහයි. දිව්‍ය සේවිකාවෝ තිස් හතර ලක්ෂ තිස් දාහයි.

   දිනක් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කළ විට ශක්‍ර දේවේන්ද්‍රයාත් වෛශ්‍රවණ දිව්‍ය රාජයාත් උන්වහන්සේව එම අසිරිමත් ප්‍රාසාදය පෙන්වීමට වඩමවාගෙන ගියා. වෛජයන්ත ප්‍රසාදයේ විසිතුරු පෙන්වමින් ඒ ගැන වර්ණනා කරමින් යන ශක්‍ර දේවේන්ද්‍රයාත් වෙසමුණි දිව්‍ය රාජයාත් සංවේගයට පත් කිරීමේ අරමුණින් මහා මොග්ගල්ලානයන් වහන්සේ තමන් වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් ඉර්ධිබලයෙන් වෛජයන්ත ප්‍රසාදය කැරකෙව්වා. කම්පා කෙරෙව්වා. සෙලෙව්වා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ එතරම් ම මහා ඉර්ධිමත් ශ්‍රාවකයන් වහන්සේ නමක්.

   ශ්‍රාවකයෙකුගේ ඉර්ධිය එතරම් නම් ශාස්තෘන් වහන්සේගේ ඉර්ධි බලය කොයිතරම් ද කියලා අපට සිතින් සිතාගන්නවත් බැහැ. අපගේ මහා මොග්ගල්ලානයන් වහන්සේ පවා මෙතරම් ඉර්ධි බල සම්පන්න වුනේ මේ සතර ඉර්ධිපාද ප්‍රගුණ කිරීම නිසා ම යි.

   මෙම ලිපියෙන් ඉර්ධිපාද ගැන යම්කිසි දැනුමක් ඔබට ලැබෙන්න ඇති. මෙහි ඇතුළත් නොවන තවත් බොහෝ විස්තර සංයුත්ත නිකායේ පස්වෙනි කොටසට අයත් ඉර්ධිපාද සංයුත්තය කියවීමෙන් ඔබට ඉගෙන ගත හැකියි. ගංගා නදිය මහා සමුද්‍රය බලා ගමන් කරන්නා සේ මේ සතර ඉර්ධිපාද වඩන කෙනාත් අමා නිවන බලා ම ගමන් කරනවා. ඒ නිසා ඔබත් නිර්වාණගාමී ප්‍රතිපදාවට අයත් මේ සතර ඉර්ධිපාදයන් අප්‍රමාදීව ප්‍රගුණ කිරීමට මහන්සි ගන්න.

            තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

උපුටා ගැනීම 👉www.mahamegha.lk

Comments

Popular posts from this blog

පිරිත් (Pirith MP3 Download)

බෝධි පූජා අටවිසි බෝධි පූජා මහ පිරිත කරණීයමෙත්ත සූත්‍රය රතන සූත්‍රය සීවලි  පිරිත අන්තරාය නිවාරණ සූත්‍රය ආටානාටිය සූත්‍රය නවග්‍රහ පිරිත රත්නමාලී යන්ත්‍ර ගාථා අංගුලිමාල පිරිත ජය පිරිත ජලනන්ද පිරිත ධජග්ග සූත්‍රය සෙත් පිරිත් 1 සෙත් පිරිත් 2 චූල ජිනපන්ජර පිරිත ඇනවුම් පිරිත වට්ටක පිරිත ධම්මචක්කප්පවත්තන සූත්‍රය දස දිසා පිරිත ඡත්ත මානවක ගාථා

DAMMAPADA - Danda Vagga (English)

Sabbe tasanti daṇḍassa, sabbe bhāyanti maccuno; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 129. All beings tremble at violence. All beings fear death. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sabbe tasanti daṇḍassa, sabbesaṃ jīvitaṃ piyaṃ; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 130. All beings tremble at violence. Life is dear to all. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sukhakāmāni bhūtāni, yo daṇḍena vihiṃsati; Attano sukhamesāno, pecca so na labhate sukhaṃ. 131. If desiring happiness, one uses violence to harm beings who also desire happiness, one will not find happiness after death. Sukhakāmāni bhūtāni, yo daṇḍena na hiṃsati; Attano sukhamesāno, pecca so labhate sukhaṃ. 132. If desiring happiness, one does not use violence to harm beings who also desire happiness, one will find happiness after death. Māvoca pharusaṃ kañci, vuttā paṭivadeyyu taṃ; Dukkhā hi sārambh...

Dhamma Articles 15

The Benefits of Long-term Meditation Bhante Gunaratana Spending time in a retreat is like recharging a battery. Once you have charged a battery, you don’t let it just sit around. You install it in an appliance and use it until it runs out. Then you recharge it. Similarly, when you need to recharge yourself you go for retreats. The difference between charging a battery and going for a retreat is that the length of time spent in a retreat cannot really be equated with the time you charge a battery. If you charge a battery longer, that does not mean it can run longer. Once the battery has reached full capacity it cannot be charged any more. Charging after that point is useless. But this does not happen when you go on a long-term retreat. First, before you go for long retreats, you should have undertaken short weekend retreats. Also, be aware of the length of the longer retreat you hope to accomplish—ten days, twenty days, a month, three months, or a year or two? You have t...